

වෙළඳපොළේ විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් සීනි දකින්න ලැබෙයි. එසේ වුවත්, සීනි යනු මූලික වශයෙන් ශාක මඟින් නිපදවනු ලබන කාබනික සංයෝගයකි. බොහෝ දෙනකුට පවතින ගැටලුවක් වන්නේ සීනි යනු ස්වභාවික දෙයක්ද නැතහොත් කෘත්‍රිම රසායනිකයක්ද යන්නය.
අපි දැන්ම ඒ ගැටලුව නිරාකරණය කර ගනිමු. සීනි යනු සම්පූර්ණයෙන්ම ස්වභාවික දෙයකි.
ලෝකයේ ඇති සෑම ශාකයක්ම පාහේ ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මඟින් තමන්ට අවශ්‍ය ආහාර ලෙස සීනි (ග්ලූකෝස්) නිපදවා ගනී. අප පරිභෝජනය කරන සුදු හෝ දුඹුරු සීනි ලබාගන්නේ උක් ගස සහ බීට් අල (බීට්රූට්) වැනි ස්වභාවික ශාකසාර මඟින් එම යුෂ උකු කර ස්ඵටිකීකරණය කිරීමෙනි.
එහිදී සිදු වන්නේ ශාකයේ ඇති ස්වභාවික සීනි වෙන් කර පිරිසිදු කිරීමක් මිස කෘත්‍රිමව රසායනික ද්‍රව්‍ය සෑදීමක් නොවෙයි. රසායනික සංයුතිය දෙස බැලීමේදී, අප සාමාන්‍යයෙන් භාවිත කරන සීනි විද්‍යාත්මකව හඳුන්වන්නේ සුක්රෝස් යන නමිනි.
මෙය ද්වි-සැකරයිඩයක් වන අතර, නිර්මාණය වී ඇත්තේ ග්ලූකෝස් සහ ෆ්රුක්ටෝස් යන සරල සීනි අණු දෙකක් එකිනෙක බන්ධනය වීමෙනි. කාබන්, හයිඩ්රජන් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය ත්‍රිත්වය නිශ්චිත අනුපාතයකට එකතු වීමෙන් සීනි අණුවක් නිර්මාණය වෙයි.
මනුෂ්‍යයන්, සීනි පරිභෝජනය ආරම්භ කළ ඉතිහාසය දෙස බලද්දී, එය වසර දහස් ගණනක් ඈතට දිව යන්නකි.
මුල්ම කාලයේ, දිවට රස දැනෙද්දී, මිනිසා පැණි රස සඳහා ස්වාභාවික මී පැණි සහ පලතුරු භාවිත කළ බව පොදු අදහසය. කෙසේ වුවද, උක් ශාකයෙන් සීනි නිපදවීමේ කලාව ප්‍රථම වරට ආරම්භ වූයේ මීට වසර 2500කට පමණ පෙර පැරණි ඉන්දියාවෙනි. උක් යුෂ උණු කර ඝන ස්ඵටික බවට පත් කිරීමේ තාක්ෂණය පුරාණ ඉන්දියානුවන් සොයාගත් අතර, සංස්කෘත භාෂාවෙන් එය ශර්කරා ය.
සීනි යන සිංහල වචනය මෙන්ම ඉංග්‍රීසියෙන් ෂුගර් යන වචනයද බිඳී ආවේ එම මූලයෙන් බව විශ්වාස කෙරේ. පසුව මෙම සීනි නිෂ්පාදන, රහස් වෙළඳ මාර්ග ඔස්සේ චීනයට, පර්සියාවට සහ අරාබි වැසියන් වෙත ව්‍යාප්ත විය.
මධ්‍යතන යුගයේදී යුරෝපයට සීනි හඳුන්වා දුන් අතර, එකල එය ඉතා දුර්ලභ, මිල අධික සුදු රත්තරන් ලෙස හැඳින්වූ සුඛෝපභෝගී වෙළෙඳ භාණ්ඩයක් විය. එය භාවිත කළේ රජවරුන් සහ ප්‍රභූන් පමණි.
කෙසේ නමුත්, 15 වැනි සියවසෙන් පසු ඇමෙරිකානු මහද්වීපයේ මහා පරිමාණයෙන් උක් වගාවන් ආරම්භ වීමත්, පසුව බීට් අලවලින් සීනි නිපදවීම සොයාගැනීමත් සමඟ සීනි ලෝකය පුරාම සාමාන්‍ය ජනතාවට බහුලව ලබාගත හැකි දැරිය හැකි මට්ටමේ ආහාරයක් බවට පත් විය.
දැන් අපි අපේ කතාවට යමු.
ඔබ දන්නවාද? විශ්වය යනු දැවැන්ත රසායනික මුළුතැන්ගෙයකි. එහි ‘අතුරුපස’ ලැයිස්තුවට අලුතින්ම එක් වූ අපූරු සොයාගැනීමක් ගැන පසුගිය දා අපට අසන්න ලැබුණි. ‘නේචර් ඇස්ට්රෝනොමි’ විද්‍යා සÕරාවේ, මේ ගැන දීර්ඝ ලිපියක් ද පළ විය.
තාරකා විද්‍යාඥයන්ට, තරු අතර පවතින අන්තරීක්ෂ අවකාශයෙන්, සීනි අණු හමුවී ඇත. විශ්වයේ, අන්තරීක්ෂ අවකාශයෙන්, විවිධ රසායනික අණු 340කට වඩා මේ වන විටත් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටින නමුත්, ඔවුන්ට සීනි අණු හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව, සීනී හෙවත් ජීවයේ මූලිකාංගය විශ්වය පුරා ව්‍යාප්ත වූයේ කෙසේද යන්න සොයා බැලීම දැන් ආරම්භ වී ඇත.
කෙසේ නමුත්, පෘථිවියෙන් බැහැරව, සීනි අණු සම්බන්ධයෙන් හෝඩුවාවක් හමු වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර, උල්කාපාත සහ ග්රහක සාම්පල තුළ රයිබෝස් සහ ග්ලූකෝස් වැනි සීනි වර්ග අඩංගු බව විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබුණි.
ඒත්, මෙම නව සොයාගැනීම ඊට වඩා හාත්පසින්ම වෙනස් මෙන්ම සුවිශේෂී එකක් බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.
සුප්‍රකට ස්පාඤ්ඤ ජාතික තාරකා රසායන විද්‍යාඥවරියක වන ඉසාස්කුන් ජිමිනෙස්-සෙරා ප්රමුඛ ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම, ක්ෂීරපථය මන්දාකිණියේ මධ්‍යයේ පිහිටි ඝන වායු සහ දූවිලි වලාකුළක් තුළ තිබී මෙම සීනි අණු සොයා ගෙන තිබේ. මෙය එරිත්රුලෝස් නමැති කාබන් හතරක් සහිත සීනි වර්ගයයි.
මීට පෙර අභ්‍යවකාශයෙන් හමු වූ අභ්‍යවකාශ සීනි මෙන් නොව, එරිත්රුලෝස් යනු සැබෑ මොනොසැක්රයිඩයක් (සරල සීනි අණුවක්) වීම මෙම සොයා ගැනීමේ විශේෂත්වය යැයි ඉසාස්කුන් ජිමිනෙස්-සෙරා පවසන්නීය.
ක්ෂීරපථ මන්දාකිණිය එසේත් නැතිනම් ක්ෂීරපථය (කිරි සයුර) යනු අපේ පෘථිවිය සහ සූර්යග්රහ මණ්ඩලය ඇතුළු තවත් තරු බිලියන සිය ගණනක් අයිති වන, අභ්‍යවකාශයේ පිහිටි දැවැන්ත සර්පිලාකාර හැඩැති මන්දාකිණියයි.
මෙම සොයාගැනීමේ ඇති වැදගත්ම කරුණ වන්නේ, එරිත්රුලෝස් යනු ත්රියෝස් නියුක්ලෙයික් ඇසිඩ් අණුවේ පසුබිම් සැකිල්ල නිර්මාණය වීමට අවශ්‍ය සෘජු රසායනික පූර්වගාමියා වීමය.
පෘථිවියේ මුල්ම ජීවය ඇති වීමේදී ආර්.එන්.ඒ. සහ ඩී.එන්.ඒ. වලට පෙර ටී.එන්.ඒ. අණුව පැවති බව බොහෝ පර්යේෂකයන්ගේ විශ්වාසයයි. ඒ අනුව, ආර්.එන්.ඒ. බිහි වීමට පෙර පැවති ජානමය ව්‍යුහයන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමට අන්තරීක්ෂ අවකාශයට හැකියාව තිබූ බව මෙම සොයා ගැනීමෙන් පැහැදිලි වෙයි.
මෙහිදී විද්‍යාඥයන් මවිතයට පත් කළ තවත් කරුණක් වූයේ, කාබන් තුනක් සහිත ග්ලිසරැල්ඩිහයිඩ් වැනි සීනි වර්ග කිසිවක් මෙම කලාපයෙන් හමු නොවීමය. ඒ වෙනුවට, කාබන් තුනේ සීනි අණුවලට වඩා අට ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් එරිත්රුලෝස් එහි බහුලව පවතී. මෙය අභ්‍යවකාශය තුළ කාබන් හතරේ දාම සෘජුවම නිර්මාණය වන්නේ කෙසේද යන්න පිළිබඳව නව ගැටලුවක් මතු කරයි.
‘විශ්වයේ ඇති රසායනික අණු ක්‍රමයෙන් විශාල වන්නේ එකකට එකක් කාබන් පරමාණු එකතු වීමෙන් යැයි තාරකා රසායන විද්‍යාවේ පවතින පොදු මතය අනුව බලද්දී, මෙම සොයාගැනීම මුළුමනින්ම බලාපොරොත්තු නොවූ එකක්’ යැයි ජිමිනෙස්-සෙරා පැහැදිලි කරයි.
මෙම අතිශය දුර්ලභ සොයාගැනීම සිදු කරනු ලැබුවේ ‘ජී-ප්ලස්-0.693-0.027’ යන කේත නාමයෙන් නම් කළ අණුක වලාකුළ පරිලෝකනය (ස්කෑන්) කරද්දීය.
ඒ සඳහා ස්පාඤ්ඤයේ පිහිටි මීටර් 40ක යෙබෙස් රේඩියෝ දුරේක්ෂය සහ මීටර් 30ක අයිරාම් රේඩියෝ දුරේක්ෂය යන ප්‍රබල නිරීක්ෂණ මෙවලම් ද්විත්වය භාවිතයට ගෙන ඇත. ඉසාස්කුන් ජිමිනෙස්-සෙරා ප්රමුඛ ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම ඇස්තමේන්තු කරන ආකාරයට, මීට වසර බිලියන 4.1කටත් 3.8කටත් පෙර සිදුවුණු ග්රහක හැලහැප්පීම්වලදී, මෙම සීනි ටොන් මිලියන 0.5ක් සහ 50ක් අතර ප්‍රමාණයක් උල්කාපාත මාර්ගයෙන් පෘථිවි පෘෂ්ඨයට පතිත වන්නට ඇත.
මෙම සීනි වර්ගය ජීවයේ පැවැත්මට සෘජුවම අත්‍යවශ්‍ය නොවන නමුත්, පෘථිවියේ ජීවය ආරම්භ වීමට මූලික වූ වැදගත් රසායනික සංයෝග බවට පහසුවෙන්ම පරිවර්තනය වීමේ හැකියාව ඊට පවතී. ‘ජීවයේ සම්භවය සඳහා අවශ්‍ය වන ප්‍රධාන රසායනික අමුද්‍රව්‍ය අප මන්දාකිණියේ වෙනත් ඕනෑම කලාපයක පැවතිය හැකියි. එමඟින් විශ්වයේ වෙනත් ස්ථානයක වුවද ජීවය විකාශනය වීමේ හැකියාව විවෘත වෙනවා’ යැයි ජිමිනෙස්-සෙරා වැඩිදුරටත් සඳහන් කරයි.
ලුසිත ජයමාන්න
NDTV ඇසුරිනි